තියුණු සටනකින් පසු සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 22කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයේ පළමු ඉනිමේදී කණ්ඩායම් දෙකම ලකුණු 387 බැගින් රැස් කිරීම විශේෂත්වයක් වුණා.

දෙවන ඉනිම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 192ක් පමණයි.

ඒ අනුව ලකුණු 193ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට තරඟයේ පස්වන දිනය වූ ඊයේ දිනයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 170ක් පමණයි.

ඉන්දීය දෙවන ඉනිමේදි හුදෙකලා සටනක නිරත වූ රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 61ක් රැස් කළද එය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය දක්වා ගෙන යාමට ප්‍රමාණවත් වූයේ නැහැ.

ඉන්දීය දෙවන ඉනිමේදී බෙන් ස්ටොක්ස් ලකුණු 48කට කඩුලු 03ක් දවා ගත් අතර ජොෆ්රා ආචර් ලකුණු 55කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා.

බෙන් ස්ටොක්ස් මෙම තරඟයේ ඉන්දීය පළමු ඉනිමේදී ලකුණු 63කට කඩුලු දෙකක් දවා ගත්තා.

එමෙන්ම පිත්තෙන්ද දස්කම් දක්වමින් එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 44ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 33ක් රැස් කළා.

එම දක්ෂතා හේතුවෙන් තරඟේ විරයා සම්මානයද හිමි කර ගත්තේ එංගලන්ත නායක බෙන් ස්ටොක්ස්.

මෙම ජයග්‍රහණයත් සමග තරඟ 05කින් සමන්විත එංගලන්ත – ඉන්දීය ටෙස්ට් තරඟාවලියේ දෙකට එකක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටිනවා.