අනුරාධපුර පුත්තලම පාරේ කලා වැවේ පාලම මත සිරවූ බස් රථයේ සිටි මගීන් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදු වන බව ආරක්‍ෂක අංශ පවසනවා.

ආරක්‍ෂක අණ නොතකා මගීන් 70ක් සමඟ ධාවනය කළ අදාළ බස් රථය කලා වැවේ පෙරළී ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඉන් අනතුරුව එහි සිටි මගීන් ඒ ආසන්නයේ පිහිටි නිවසක වහලය මත නැඟ තිබෙනවා.

එම පිරිස බේරා ගැනීම සඳහා ගුවන් හමුදාව විසින් එම් අයි 17 සහ බෙල් 212 හෙලිකොප්ටර් යානා දෙකක් යෙදවීමට සැලසුම් කළද පවතින තත්ත්වය හමුවේ එයද ව්‍යර්ථ වී තිබෙනවා.

ඒ, එම හෙලිකොප්ටර් යානා අදාළ පිරිස නැඟ සිටින ස්ථානය වෙත ළඟා වුවහොත් එම පිරිස නැඟ සිටින වහළට හානි සිදුවිය හැකි බවටයි සැක පළ කරන්නේ.

අදාළ පිරිස බේරා ගැනීම සඳහා නාවික හමුදාවද බෝට්ටු දෙකක් එම ස්ථානයට යොමු කළද පවතින දැඩි රළ පහර හේතුවෙන් එම බෝට්ටු දෙකද ගසා ගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව විශේෂ බෝට්ටු සහ ත්‍රිවිධ හමුදාව එක්ව එම පිරිස මුදා ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.