කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ ස්ථාපිත කෙරුණු කායික රෝග සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකක දෙකෙහි කටයුතු අද සිට ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසනවා. එම රෝහල තුළ ප්‍රසව හා නාරි රෝග මහාචාර්ය ඒකකය, ළමා රෝග මහාචාර්ය ඒකකය සහ මානසික රෝග මහාචාර්ය ඒකකය මීට පෙර ස්ථාපනය කෙරුණා. ඒ අනුව වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව සඳහා අවශ්‍ය වන මහාචාර්ය ඒකක පහම කළුතර නාගොඩ ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම සම්පුර්ණ වන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකභාවය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය වෘත්තීකයන්ට උසස් අධ්‍යාපන හා පුහුණුව ලබාදීම මෙන්ම කළුතර ප්‍රදේශය සෞඛ්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමත් අරමුණු කර ගනිමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගනු ලැබුවා. මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයේ මේ විට වර්ෂ හතරකට අදාළ වෛද්‍ය සිසුන් 400කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතුවල නිරතව සිටිනවා. එහි සිව්වන වසරේ අධ්‍යයන කටයුතු සිදුකරන වෛද්‍ය සිසුන් සිය දෙනෙකුට අවශ්‍ය වන මහාචාර්ය ඒකකයේ පුහුණුව ලබාදීමේ කටයුතු මෙම මාසය තුළදීම ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලබාදී ඇති උපදෙස් පරිදි මෙම මහාචාර්ය ඒකක ස්ථාපිත කර තිබෙනවා.