දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 30ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 39කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරු ඉංජිනේරු එච්.පී.එස්.ඩී. හේරත් මහතා පවසනවා.

ඒ මහතා පැවසුවේ එම ජලාශ අතර අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, මහකනදරාව, රාජාංගන ජලාශ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර සහ බදුල්ල දිස්ත්‍රික්කයේ සොරබොර ජලාශය ද පවතින බවයි.

මෙම ජලාශවල වාන් දොරටු විවෘත කිරීම කර ඇතැත් නිකුත් කරන ජල ප්‍රමාණය අවම බැවින් එම ජලාශවල පහළ ප්‍රදේශවල ගංවතුර අවදානමන් නොමැති බවත් කළමනාකරු ඉංජිනේරු එච්.පී.එස්.ඩී. හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළා.