ඉකුත් වසරේ පැවති එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේදී එම තරඟාවලියට සහභාගි වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලබා සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වූ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතිකයකු වන තමීම් රහමන් නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව ජනවාරි මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.
මෙම නඩුකරයට අදාලව වරද පිළිගෙන කෙටියෙන් අවසන් කර ගැනීමට විත්තිකරු සූදානම් බවත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත නියෝජනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ විත්තිය විසින් නිතිපතිවරයා වෙත නීතිඥ නියෝජනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉල්ලා සිටියත් ඒ සම්බන්ධයෙන් තවමත් අවස්ථාවක් ලබාදීමට නොහැකි වූ බවයි.
ඒ අනුව ඒ පිළිබඳ සාකච්ඡා කර තීරණය දැනුම් දීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙසත් රජයෙන් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව නඩුව ජනවාරි මස 07 වනදා කැඳවීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස නියම කළා.




