ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ග්ලේන් මැක්ස්වෙල් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

සම්මුඛ සාකච්ඡාවකදී සිය සමුගැනීම නිවේදනය කර ඇති මැක්ස්වෙල් පවසා ඇත්තේ සිය ශාරීරික යෝග්‍යතාවය සැලකිල්ලට ගනිමින් එම තීරණයට එළඹුණු බවයි.

කෙසේවෙතත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සඳහා තවදුරටත් ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බවද ග්ලේන් මැක්ස්වෙල් පවසා තිබෙනවා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින තරග 149කට ක්‍රීඩා කර ඇති ග්ලේන් මැක්ස්වෙල් රැස්කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 3,990ක්.

ද්විත්ව ශතකයක්, ශතක තුනක් සහ අර්ධ ශතක 23ක් ඊට ඇතුළත් වනවා.

පන්දුවෙන් ද දස්කම් දක්වා ඇති මැක්ස්වෙල් එක්දින කඩුලු 77ක් දවාගෙන තිබෙනවා.

එක් ඉනිමකදී ඔහු රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2023 ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව නොදැවී රැස්කල ලකුණු 201යි.

එම තරගයේ ලකුණු 292ක ඉලක්කයක් හමා ගිය ඕස්ට්‍රේලියාව ලකුණු 91කට කඩුලු 07ක් දැවී ගොස් පරාජය අභියස සිටියදී, පාදයේ ආබාධයක් සහිතව අංක 06 ස්ථානයේ ක්‍රීඩා කරමින් ඔහු රැස්කල එම විශ්මය ජනක ද්විත්ව ශතකය ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ඉනිම ලෙසයි සැලකෙන්නේ.

ආරම්භක පිතිකරුවෙකු හැර එක්දින තරගයකදී පිතිකරුවෙකු රැස්කල පළමු ද්විත්ව ශතකය වන්නේ ද එයයි.

එමෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු රැස්කල පළමු ද්විත්ව ශතකය මෙන්ම ලකුණු හඹා යාමේදී පිතිකරුවෙකු රැස්කල පළමු ද්විත්ව ශතකය ද එය වනවා.

එමෙන්ම එක්දින පිටියේ ඉහළම ප්‍රහාරක වේගයක් රඳවා ගත් පිතිකරුවන් අතර ලොව දෙවන ස්ථානය මැක්ස්වෙල්ට හිමිව තිබෙනවා.

ඔහු රඳවාගෙන ඇති ප්‍රහාරාත්මක වේගය 126. 70.

මැක්ස්වෙල්ට වඩා ඉහළ ප්‍රහාරාත්මක වේගයක් රඳවාගත් එකම පිතිකරුවා වන්නේ කොදෙව් ක්‍රීඩක ඇන්ඩි්‍ර රසෙල් පමණයි.

ඔහු රඳවාගත් ප්‍රහාරාත්මක වේගය 130.22.

එහෙත් ඔහු එක්දින ඉනිම් 47කට පමණක් ක්‍රීඩා කර මුලු ලකුණු 1,034ක් ලබා ගනිමින් එම ප්‍රහාරක වේගය රඳවාගෙන තිබුණා.

කෙසේවතත් එක්දින ලකුණු 2,000කට වඩා වාර්තා කර ඇති ලොව කිසිදු පිතිකරුවෙකු මැක්ස්වෙල්ගේ ප්‍රහාරක වේගය අභිබවා යාමට මෙතෙක් සමත් වී නැහැ.