2015 ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14000 සහ දාම් ලෑලි 11000 ක් දේශපාලන අවශ්‍යතා මත මිලදී ගෙන එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා දීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහි කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධි චෝදනා බල රහිත කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා ගොනුකර ඇති පෙත්සම කරුණු සලකා බැලීම සඳහා මේ මස 28 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත පුනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 28 වනදා කැඳවන ලෙසයි.

නීතිඥ අමිල කුමාර මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම තුළින් පෙත්සම්කරු කියා සිටින්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබූ නඩුවකට අදාලව තමන්ව සාක්ෂිකරුවකු ලෙස නම්කර තිබූ බවයි.

ඉන් අනතුරුව එම නඩුවට අදාළව තමන් මහාධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් බවත් පෙත්සම්කරු කියා සිටියා.
.
එසේ තිබියදී මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ තමන්ව විත්තිකරුවකු වශයෙන් නම් කිරීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු සඳහන් කර සිටයා.

ඒ අනුව තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන චෝදනා බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.