කාම්බෝජය සහ තායිලන්තය අතර ඇති දේශසීමා හරස් මාර්ග වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, දෙරට අතර දිගින් දිගටම සටන් පවතින පසුබිමක් තුළදීයි.

කාම්බෝජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව නැවත දැනුම්දෙන තුරු එම දේශසීමා හරස් මාර්ග වසා තැබීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

දෙපාර්ශ්වයම අඛණ්ඩව යුද ගැටුම් වර්ධනය කරගන්නා පසුබිමක ඊයේ දිනයේදී තායිලන්ත සොල්දාදුවන් සිව් දෙනෙකු මිය ගිය බව තායිලන්ත හමුදා නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

එම යුද ගැටුම් හේතුවෙන් කාම්බෝජ හමුදාවන්ට සිදුවූ හානි සම්බන්ධව කාම්බෝජය තවමත් දත්ත යාවාත්කාලීන කිරීමක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම මරණ සංඛ්‍යාවත් සමග පසුගිය 08 වනදා සිට මේ දක්වා තායිලන්තයේ හමුදා නිලධාරීන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් සොල්දාදුවන් 270ක් මෙන්ම සිවිල් වැසියන් 06 දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

පසුගිය 12 වනදා වන විට කාම්බෝජයේ සිවිල් වැසියන් 11 දෙනෙකු මියගොස් තවත් 59 දෙනෙකු තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

කාම්බෝජ - තායිලන්ත යුද ගැටුම් මැද මේ වන විට දේශසීමා ආසන්නයේ සිටි ලක්ෂ හතකට ආසන්න ජනතාවක් ඉන් ඉවත් කිරීමට ද දෙරටවල් පියවර ගෙන තිබෙනවා.