කාර්මික විද්‍යාල සිසුවියකට නවක වදය දුන් බව කියන සැකකාර සිසුන් සිව්දෙනා මේ මස 16 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි කුලියාපිටිය පළාත්බද මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා අද නියම කළා.

එලෙස බන්ධනාගාර ගත කළේ එම කාර්මික විද්‍යාලයේම ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනෙකු හා සිසුවියක්.

නවක වදය විඳදරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් දිවි හානිකර ගැනීමට වැවකට පැන්න බව කියන කාර්මික විද්‍යාල සිසුවිය මේ වන විටත් කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

අද අධිකරණයේදී කරුණු දැක්වූ කුලියාපිටිය පොලිසිය පැවසුවේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන දැරිය මෙම සිදුවීම් මාලාව හේතුවෙන් දැඩි කම්පාවට පත්ව සිටින බවයි.

එමෙන්ම ශාරීරිකව හා මානසිකව විවිධ වධ හිංසා පමුණවා තිබූ බවට දැරියගේ ප්‍රකාශ අනුව හෙළිවූ බවත් වින්දිත දැරිය ඒ පිළිබඳ ගුරුවරුන්ට හා සිය ඥාතීන්ට පවසා ඇති බවට කරුණු අනාවරණය වූ බවත් එහිදී ප්‍රකාශ කෙරුණා.

මෙය ඉතා අමානුශීය ක්‍රියාවක් බවත් මෙවන් ක්‍රියා අධෛරමත් කළ යුතු බවත් එහිදී පැවසූ පොලීසිය, රටේ තරුණ පිරිස් බොහෝ දෙනෙකු මෙම නවක වදය නිසා රටට අහිමි ව ඇති බවයි පැවසුවේ.

ඒ අනුව මේ සිදුවීමට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදුකරන බැවින් සැකකරුවන්ගේ ඇප සම්බන්ධයෙන් පොලිසිය දැඩි විරෝධය පල කර තිබෙනවා.