ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.

පවතින වර්ෂා තත්ත්වය හමුවේ ගංඟාවල ජල මට්ටමද ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ජල විද්‍යා ආපදා කළමනාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ ජලාශ 15කද වාන් දොරටු විවෘත කර ඇති බවයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදියර දෙක යටතේ නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවා.

මේ අතර ආපදාවට පත් එම් වී ඉන්ටග්‍රිටි ස්ටාර් වෙළෙඳ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බව නාවික හමුදාව පවසනවා.

එම වෙළඳ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 14 දෙනා බේරා ගැනීම සඳහා ‘සමුදුර’ නෞකාව පිටත්කර හැරි බවයි නාවික හමුදාව පැවසුවේ.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුර මුහුදේ ප්‍රධාන යන්ත්‍රවල කාර්මික දෝෂයක් හේතුවෙන් එම නෞකාව ආපදාවට ලක්ව තිබෙනවා.