කැනඩාවේ ඉන්දු-පැසිෆික් උපාය මාර්ගයේ කොටසක් ලෙස, ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා කැනඩා විදේශ කටයුතු අමාත්‍ය අනිතා ආනන්ද් ඔක්තෝබර් 12 සිට ඔක්තෝබර් 17 දක්වා ඉන්දියාව, සිංගප්පූරුව සහ චීනය යන රටවල රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව කැනඩා රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව ඇය පළමුව ඉන්දියාවට පැමිණීමට නියමිත අතර අදින් එම සංචාරය ආරම්භ කෙරෙනු ඇති.

ඉන්දීය සංචාරය අතරතුර ඇය නවදිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයාල් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

වෙළඳ විවිධාංගීකරණය, බලශක්ති පරිවර්තනය සහ ආරක්ෂක ගැටළු ඇතුළත් උපායමාර්ගික සහයෝගීතාව සඳහා රාමුවක් ඉදිරියට ගෙන යාම කෙරෙහි සාකච්ඡාවලදී අවධානය යොමු කරනු ඇත.

දිල්ලියට අමතරව, කැනඩාවේ සහ ඉන්දියාවේ ආයෝජන, රැකියා උත්පාදනය සහ ආර්ථික අවස්ථා ප්‍රවර්ධනය කරන කැනේඩියානු සහ ඉන්දියානු ව්‍යාපාර සමඟ සම්බන්ධ වීමට කැනේඩියානු විදේශ අමාත්‍යවරිය මුම්බායි වෙත යන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.