රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධි චෝදනා බලරහිත කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා ගොනුකර ඇති පෙත්සම කරුණු සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.
නීතිපතිවරයා විසින් එම අධි චෝදනා ගොනුකර ඇත්තේ 2015 ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් දේශපාලන අවශ්‍යතා මත මිලදී ගෙන එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා දීම සම්බන්ධයෙන්.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත පුනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 03 වනදා කැඳවන ලෙසයි.
නීතිඥ අමිල කුමාර මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම තුළින් පෙත්සම්කරු කියා සිටින්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබූ නඩුවකට අදාලව තමන්ව සාක්ෂිකරුවකු ලෙස නම්කර තිබූ බවයි.
ඉන් අනතුරුව එම නඩුවට අදාළව තමන් මහාධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් බවත් පෙත්සම්කරු කියා සිටියා.
එසේ තිබියදී මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ තමන්ව විත්තිකරුවකු වශයෙන් නම් කිරීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු පවසනවා.
ඒ අනුව තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන චෝදනා බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.