කිරිබත්ගොඩ, අලුත්පාර ප්‍රදේශයේදී ටී-56 ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරු මත වව්නියාව, සෙට්ටිකුලම, නෙරියකුලම් ප්‍රදේශයේ තිබී අවි ආයුධ රැසක් සොයාගෙන තිබෙනවා.
ඒ අතරට විවිධ වර්ගවලට අයත් අත්බෝම්බ 86ක්, ටී-56 ජීව පතොරම් 321ක්, පැති අවි පතොරම් 03ක් සහ මත් කරල් 5,600ක් අයත්.
කිරිබත්ගොඩ, අලුත්පාර ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 21 වනදා පස්වරුවේදීයි.
ඒ, ටී-56 ගිනිඅවියක්, එම පතොරම් 30ක් සහිත පතොරම් ගැබක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 650ක්ද සමඟයි.
මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැකකරු මෙම ගිනිඅවිය වව්නියාව සිට කොළඹ ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවයි.
මෙම ගිනිඅවිය තවත් පාර්ශ්වයක් වෙත ලබාදී අපරාධයක් සිදු කිරීමෙන් අනතුරුව නැවත වව්නියාවට රැගෙන යාමට සැලසුම් කර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
මෙම සැකකරුගෙන් හෙළි කරගත් තොරතුරු මත වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දිනයේ ඒ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
එහිදී මෙම සැකකරු හා සමීප සම්බන්ධතා පවත්වන ලද තවත් සැකකරුවෙකු සෙට්ටිකුලම පොලිස් වසමේ නෙරියකුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි.
මෙම සැකකරුගෙන් අනාවරණය කර ගත් තොරතුරු මතයි සැකකරුගේ නිවසේ සහ ගෙවත්තේ සඟවා තිබූ අදාළ අත්බෝම්බ, ටී-56 ජීව පතොරම්, පැති අවි පතොරම් සහ මත්කරල් තොගය පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ.
ඒ අනුව අදාළ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.