හිඟයක් පවතින කීරි සම්බා වෙනුවට සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

විෂයභාර නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ එලෙස සහල් ආනයනය කිරීමෙන් මෙරට ගොවීන්ට කිසිදු අසාධාරණයක් නොවන බවයි.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පසුගියදා නියම කරනු ලැබුවා.

ඒ, එම අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

ඒ අනුව ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 210ක් ලෙසත්, ආනයනික නාඩු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 220 ලෙසත් නියම කර තිබෙනවා.

ආනයනික සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙස සඳහන් වන අතර පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම මිල රුපියල් 240ක්.

එමෙන්ම කීරි පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 255 ලෙස අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.