අනුරාධපුර එප්පාවල හෝටලයකදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 184 ක් සමඟ ඊයේ අත්අඩංගුවට ගැණුනු විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු ලබන 12 වනදා දක්වා දින 7 ක කාලයක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය අද පොලීසියට අවසර ලබාදුන්නා. තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයාත්‍රී හෙට්ටිආරච්චි මෙනවිය විසින් එම නියෝගය ලබාදුන්නේ අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මෙම සැකකරුවන් දෙදෙනාගේ නමින් ඇති බැංකු ගිණුම් පිළිබද විස්තර විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් වෙත ලබාදෙන ලෙසට රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල කළමණාකාරිත්වයට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ජංගම දුරකතනවලට අදාළ විශ්ලේෂණ වාර්තා විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙසට සියලුම දුරකතන සමාගම්වලට නියෝගයක්ද නිකුත් කළා.
එලෙස රැදවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර හිමි වුණේ තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ එප්පාවල, කටියාව යාය 10 විද්‍යාලයේ විදුහල්පති ජයන්ත බාලසූරිය නමැත්තාගෙන් සහ තරිදු ධනංජය වික්‍රමසිංහ යන අයගෙන්. සැකකාර විදුහල්පතිවරයා පෑලියගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී දිස්නා නෙරංජලා මහත්මියගේ සැමියා වනවා.
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැණුනු සැකකාර විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නෙරංජලා යන අය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක බවද පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.




