හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබෙනවා.

අදාල විදුහල්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දන්වා ඇත්තේ, අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් ආයතන සංග්‍රහයේ වගන්ති යටතට ගැනෙන වරදක් සිදුකර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට කටයුතු කරන බවයි.

ජාතික ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා වන අදාල විදුහල්පතිවරයා පසුගියදා හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 118ක් සමග අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, අනුරාධපුර එප්පාවල හෝටලයකදීයි.

අත්අඩංගුවට ගැණුනු විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු ලබන 12 වනදා දක්වා දින 07ක කාලයක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට ඊයේ අවසර ලබාදුන්නා.

මේ අතර සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රී දිස්නා නිරන්ජලා කුමාරි මහත්මිය එම ධුරයෙන් ඊයේ ඉල්ලා අස්වුණා.