කුවේට්හි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සංක්‍රමණික ඉන්දීය ගුවන් මගියෙකුගේ ගමන් මල්ලේ සගවා ගෙන තිබූ ජීව උණ්ඩයක් ගුවන් තොටුපොළ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඔහු කුවේට් රාජ්‍යයේ පිරිසිදු කිරීමේ සේවකයෙකු ලෙස කටයුතු කරන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
අද පෙරවරුවේ කුවේට් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සැකකරු, ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 121 දරන ගුවන් යානය වෙත පිවිසීම සඳහා, කටුනායක ගුවන් තොටුපොළ අවසන් මගී පිරික්සුම් මැදිරිය වෙත පැමිණ තිබෙනවා.
එහිදී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කළ පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලේ කුඩා පෙට්ටියක් තුළ අසුරා තිබූ ටී-56 ගිනි අවි සදහා භාවිතා කරන ජීව උණ්ඩය සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව, එම පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ සැකකාර ගුවන් මගියා අත් අඩංගුවට ගනු ලැබුවා.
තමන් කුවේට් රාජ්‍යයේ විවෘත තණ පිටියක් පිරිසිදු කරමින් සිටියදී එම ජීව උණ්ඩය තමන්ට ලැබුණ බව ඔහු පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.