රුපියල් තුන් කෝටි එකොළොස් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ “රක්ත මාවත ” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කරත්තයක් භාවිතා කරමින් එළවළු වෙළදාමේ නිරත 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවයි වාර්තා වන්නේ.

මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග තුනට නවන කුඩ 50 ක් ද තායිලන්තයෙන් මිළදී ගෙන ඒවා අතරින් කුඩ 20 ක් ඇසුරුම් තුළින් ඉවත් කර එම ඇසුරුම් තුළට , මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය පුරවා රැගෙන විත් තිබෙනවා.

ඔහු රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සදහා තායිලන්තයේ බැංකොක් නුවර සිට ඉන්දියාවේ මුම්බායි නුවර වෙත පැමිණ එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1185 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මොහු කුඩ 20 ක් අඩංගු ඇසුරුම් තුළ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 117 ක් සගවා ගෙන තිබූ අතර ඒවා අත් අඩංගුවට ගෙන විවෘත කළ පසු දැඩි මත්ද්‍රව්‍ය දුර්ගන්ධයක් ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ පැතිර යන්නට වූ බවද වාර්තා වනවා.

මෙසේ අත් අඩංගුවට ගත් ගුවන් මගියා සහ මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණා.