“කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශික ගුවන් මගී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
ඔවුන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන, ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ, එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
සැකකරුවන් දෙදෙනා විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබී “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08යි ග්‍රෑම් 220ක් සොයා ගත් බවයි ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පැවසුවේ.
එලෙස සොයා ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි දහයක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 47 හැවිරිදි කාන්තාවක් වන අතර ඔවුන් ඉන්දීය ජාතිකයන් වනවා.
Published