ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසනවා. ඒ වෙනුවෙන් රාජ්‍ය සේවය සූදානම් විය යුතු බවයි ඔහු කියා සිටියේ. කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම තුළින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කර ගනිමින් ජනතාවට වඩා හොද සේවාවක් ලබාදීමට අවධානය යොමු කළ යුතු බවද ජනාධිපති ලේකම්වරයා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳ රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් අමතමින්. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳ රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම මෙම වැඩමුළුවේ අරමුණයි.