කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලී සිටින ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් විසඳීමට අවශ්‍ය යෝජනා කිහිපයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද රජයට ඉදිරිපත් කර සිටියා.

2024 දත්ත අනුව මෙට්‍රික් ටොන් 28 ලක්ෂයක් නිෂ්පාදනය වී ඇති නමුත් අවශ්‍යතාව ඇත්තේ මෙට්‍රික් ටොන් 24 ලක්ෂයක් බවත් මෙවැනි තත්ත්වයක් තුළ මෙට්‍රික් ටොන් 28 ලක්ෂයක නිෂ්පාදනයක් තිබියදී සහල් ආනයනය කරන්නේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් වගා නිෂ්පාදන අලෙවි චක්‍රයක් ඇති බවත් මේ චක්‍රය තුළ බරපතල ඌනතා ගැටලු ඇති බැවින් විද්‍යාත්මකව සොයා බලන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පවසා තිබෙනවා.

බීජ, පොහොර, රසායන ද්‍රව්‍ය, උපකරණ ආදියට යන පිරිවැය මෙන්ම වගා හානි, අලි මිනිස් ගැටුම නිසා සිදුවන හානි ගණනය කර බලන විට නිෂ්පාදන වියදම යථාර්ථවාදීද කියා ගැටලුවක් ඇති බැවින් මේ පිරිවැය ගණනය ගැන නැවත සිතා බලන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අතර වී මිල දී ගැනීමේ ක්‍රමවේදයක් තිබුණත් එය මහපොළොවේ යථාර්ථයක් වී ඇත් ද කියා ගැටලුවක් ඇති බවත් සහතික මිල රු.120ක් කිව්වත් රු. 80ත් 90ත් අතර මිලකට මේවා යන බවත් මෙය බරපතල ගැටලුවක් බවත් නාමල් කරුණාරත්න මහතා පවා සහතික මිල නීතිගත කරන බවට පැවසූ නමුත් එය නොවූ නිසා දැන්වත් එය ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සදහා සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.

එමෙන්ම පසු අස්වනු තාක්ෂණය සහ පසු අස්වනු හානිය යන කරුණු 2 ගැන දැඩි අවධානය යොමු කරන ලෙසත් මේ නිසා කෘෂිකාර්මික ක්ෂේත්‍රයට විශාල හානියක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබෙනවා.

තවද අප රටේ සුළු මධ්‍ය හා කුඩා පරිමාණ සහල් මෝල් හිමියන් අද වන විට බරපතල ගැටලුවලට ලක්ව ඇති බවත් මොවුන්ගේ ණය ප්‍රතිලේඛනගත කිරිමට වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් මිලියන 5 සිට 25 දක්වා කඩා වැටුණු මේ මෝල් හිමියන් නැගී සිටින්න යම් ප්‍රාග්ධනයක් ලබා දෙන ලෙසත් ඇප දී ණය ලබා ගත නොහැකි නිසා ලිහිල් කොන්දේසි මත නැගී සිටින්න උදව් කරන ලෙස ඉල්ලා සිටින බවත් මේ සහල් මෝල් ආරක්ෂා කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ආසියනු සංවර්ධන බැංකුව හරහා ඩොලර් මිලියන 100ක් ලබා දෙන්න සමගි ජන බලවේගය සහයෝගය දුන් බවත් රජයත් විපක්ෂයත් එකට එකතු වී මේ කටයුතු කළ බවත් එම නිසා ඉදිරියටත් මේ සහයෝගය දෙන නිසා පවතින දත්ත යාවත්කාලීන විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පෙන්වා තිබෙනවා.