Published
මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව එක් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන පියල් මනම්පේරි බවටයි වාර්තා වුණේ. එම සැකකරු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගැනීම සහ ඊට අදාළව සිදු කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා අදහස් පළ කළා.
කෙහෙල්බද්දර පද්මේ විසින් අදාළ රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50,000කට ආසන්න ප්‍රමාණයක් විදෙස් රටක සිට එවා තිබෙනවා. අදාළ බහාලුම් දෙක සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වෙත ප්‍රශ්නයක්ද යොමු කළා. අදාළ බහාලුම් දෙක සිය මිතුරන් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන පියල් මනම්පේරි සහ එම පක්ෂයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟවැදුණු ඔහුගේ සහෝදරයා වන සම්පත් මනම්පේරි වෙත ලබා දුන් බවට බැකෝ සමන් විසින් පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වුණේ. ඉන්දුනීසියාවේදී පසුගියදා අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන් ඇතුළු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් 05 දෙනා පොලිස් භාරයේ රඳවාගෙන මේ වන විට ප්‍රශ්න කිරීම් සිදු කරනවා. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම් හමුවේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විටත් අනාවරණ කරගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. මේ අතර මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව චෝදනාවට ලක්ව සිටින සිය පක්ෂයේ සාමාජික සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ අතර මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ පිටුපස සිටින පිරිස සම්බන්ධයෙන්ද පොලීසිය විමර්ශන සිදු කරන බව මහජන ආරක්‍ෂත නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවා. හෝමාගම ප්‍රදේශයේ මැතිවරණ කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශවල ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.