මෙරටින් පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ නිලංග ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු හා කාන්තාවක් ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් සහ ඉන්දුනීසියානු පොලිස් කණ්ඩායමක් එක්ව සිදුකළ මෙහෙයුමකදීයි. බැකෝ සමන්, තැඹිලි ලහිරු සහ බැකෝ සමන්ගේ බිරිඳ සහ කුඩා දරුවෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා. එම සැකකරුවන් මේ වන විට ඉන්දුනීසියානු පොලිස් භාරයේ සිටින අතර අදාල සැකකරුවන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඉන්දුනීසියානු පොලිසිය සමග දින හතක ඒකාබද්ධ මෙහෙයුමක නිර වූ බවයි.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. ශ්‍රී ලංකා පොලියි සම්බන්ධයෙන් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය ගොඩනැගී ඇති බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ. මේ අතර සංවිධානාත්මක අපරාධකරුවන් හා දේශපලඥයින් අතර පවතින සබඳතා සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ. සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ මහාධිකරණ කිහිපයක් පිහිටුවීමට අවධානය යොමුව ඇති බවයි අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ.