විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා. එහිදී පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය නියෝග කළේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුගේ දුරකතන විස්තර වාර්තා කැඳවන ලෙසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බස්නාහිර උතුර කොට්ඨාසයේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය මෙම නියෝගය නිකුත් කළා. එම පොලිස් නිලධාරින් විසින් මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. පොලිසිය සඳහන් කළේ මෙම දුරකථන ඇමතුම පටිගත කර තිබෙන බවත් ඊට අදාළ සංයුක්ත තැටි රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර එහි අන්තර්ගත දත්ත පිළිබඳව වාර්තා කැඳවීමට කටයුතු කරන බවයි. ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදු කරන ලෙස පොලිසියට නියම කළ මහේස්ත්‍රාත්වරිය එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තාකරන ලෙස නියෝග කළා.
Published