Published
ඉකුත්දා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන "කෙහෙල්බද්දර පද්මේ" විසින් මෙහෙයවන ලද සංවිධානාත්මක අපරාධ ජාලය අනාවරණය කර ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේ වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම දැනුම්දීම සිදුකළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ සැකකරු දින 90 ක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන විමර්ශන සිදු කරන බව පැවසුවා.
කෙහෙල් බද්දර පද්මේ නැමැත්තාගේ අපරාධ කටයුතුවලට සහය වූ බව සැකපිට අත්අඩංගුවට ගත් ගම්පහ විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පරික්ෂකවරයෙකු වු නිරෝෂන් උදිත උදේශාන් නමැත්තා සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවත් පොලිසිය සඳහන් කර සිටියා.
සැකකාර කෙහෙල්බද්දර පද්මේ නොමැත්තාට අයත් ජංගම දුරකථන රැසක් සහ විදේශවල සිට අපරාධ මෙහෙයවීම සඳහා යොදාගත් ජංගම දුරකථන සිම් කාඩ් පත් ගණනාවක් මේ වන විට සොයාගෙන ඇතැයි සඳහන් කළ පොලිසිය ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් කියා සිටියා.
විමර්ශන කටයුතු අවසන් වන තෙක් මෙම නඩුගොනුව ආරක්ෂිත සේප්පුවේ බහා තබන ලෙසත් මෙහිදී පොලිසිය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලීම් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාල නඩු ගොනුව අධිකරණයේ ආරක්ෂිත සේප්පුවේ බහ තැබීමට නියෝග කළා.
ඊට අමතරව මෙම සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් පවත්වා ඒ පිළිබඳ ප්‍රගතිය ඔක්තෝම්බර් මස 13 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.