මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා ගොනු කළා.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා, දියණියන් තිදෙනා වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල, බෑනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයයි.

මෙම විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සංඛ්‍යාව 43ක්. 2020 වසරේ අගෝස්තු මස 13 සහ 2024 වසරේ ජූලි මස 24 වනදා දක්වා කාලය තුළ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස වත්කම් රැස්කිරීම සහ ආධාර අනුබල දීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදවල් සිදුකළ බවට චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මගින් අධි චෝදනා ගොනු කර තිබෙනවා.

මේ අතර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.

මෙම නඩුව මහජන වැදගත්කමක් සහිත නඩුකරයක් සේ සලකා එය විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් මීට පෙර අගවිනිසුරු වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරු විසින් නම් කර තිබෙනවා.

එම විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් මෙම අධි චෝදනා විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරනු ලැබුවා.

හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොප්සිමැප් නැමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13ක් එල්ල කර තිබෙනවා.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති සංඛ්‍යාව 350කට ආසන්නයි.

ඒ අතරට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ යන හිටපු කැබිනට් අමාත්‍යවරුන් ඇතුළත්.

ඊට අමතරව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු කණ්ඩායමක්ද ඊට ඇතුළත් වනවා.

එමෙන්ම මෙම නඩුවට අදාළව නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙනවා.