හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් 15 දෙනෙකු ඇතුළත් කර රුපියල් ලක්ෂ 80 කට අධික මුදලක් වැටුප් හා දීමනා වශයෙන් ලබා ගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ රඹුක්වැල්ල මහතාගේ නිවසේ මෙහෙකාරිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

එහිදී අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාරිය විසින් ගනුදෙනු කළ බැංකු ගිණුමක් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන් කළා.

පස් කැපීමේ ව්‍යාපාරයක් සඳහා එම බැංකු ගිණුම ආරම්භ කළ බව සැකකාරිය ප්‍රකාශ කළත් එහි මුදල් හුවමාරු වී ඇති ආකාරය පිරික්සීමේදී එවැනි ව්‍යාපාරයක් පවත්වා නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් කියා සිටියා.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම සැකකාරිය විසින් පරිහරණය කර තිබෙන්නේ තුන්වන සැකකාර නිශාන්ත බස්නායක නැමැත්තාගේ බැංකු ගිණුමේ මුදල් බවත් එම මුදල් රජයේ මුදල් නොවන බවත් සඳහන් කර සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාරිය රුපියල් මිලියනය බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා.

ඇයගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝගයක් නිකුත් කළා.

ඉන් අනතුරුව නඩුව යළි ඔක්තෝම්බර් මස 10 වන දා කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියම කළේ