Published
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන, දියණියක් වන චන්දුලා රඹුක්වැල්ල සහ බෑනා වන ඉසුරු පුලස්ති බන්ඩාර පොල්ගස්දෙනිය යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
අදාල පෙත්සම් පිළිබඳ මූලික කරුණු සලකා බැලීමකින් අනතුරුව සම්පත් අබේකෝන් , ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම විසින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය විසින් සිය වත්කම් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ අතර එම තහනම් නියෝගය දීර්ඝ කිරීමට ද අධිකරණය පියවර ගෙන ඇති බව පෙත්සම්කරුවන් චෝදනා කර තිබුණා.
මෙවැනි තහනම් නියෝගයක් නිකුත් කිරීමට පෙර ඊට අදාළව තමන්ගෙන් කරුණු විමසීමක් සිදු නොකළ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒක පාක්ෂික කරුණු දක්වමින් මෙම තහනම් නියෝග ලබාගෙන තිබෙන බවත් චෝදනා කළා.
මේ තුළින් ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වන බවත් ඒ හරහා තමන්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවත් පෙත්සම්කරුවන් අවධාරණය කළා.
ඒ අනුව සිය දේපළ තහනම් කරමින් මහාධිකරණය විසින් නිකුත් කර තිබෙන තහනම් නියෝග බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම තහනම් නියෝග තව දුරටත් දීර්ඝ කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණ වෙතින් ඉල්ලා තිබුණා.
ඒ අනුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල දූෂණ විරෝධී පනත යටතේ මෙවැනි දේපළ තහනම් නියෝග ලබා ගැනීමට අල්ලස් කොමිසමට නීතිමය බලයක් තිබෙන බව සඳහන් කළා.
යම් පැමිණිල්ලක් පිළිබඳ මූලික කරුණු සලකා බැලීමකින් අනතුරුව ප්‍රමාණවත් කරුණු තහවුරු වන අවස්ථාවක මෙවැනි තහනම් නියෝග ලබා ගැනීමට අල්ලස් කොමිසමට බලය තිබෙන බවත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට පෙර පෙත්සම්කරුවන්ගෙන් කරුණු විමසීම අවශ්‍ය නොවන බවත් විනිසුරු මඩුල්ල කියා සිටියා.
ඒ අනුව පෙත්සම්කරුවන් සෑහීමකට පත් විය හැකි නඩු නිමිත්තක් තහවුරු කිරීමට අපොහොසත් වී ඇති බැවින් මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු මඩුල්ල ඒකමතිකව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් රුපියල් මිලියන 97 කට අධික වටිනාකමකින් යුත් දේපළ තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් ඉකුත් වසරේ අගෝස්තු මස නිකුත් කර තිබුණා.
එම තහනම් නියෝගය අල්ලස් කොමිසම විසින් කරනු ලබන ඉල්ලීම් වලට අනුව මාස තුනකට වරක් දීර්ඝ කරමින් පවතිනවා.
මෙසේ තහනම් කළ දේපළ අතර ස්ථාවර තැන්පතු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු ආදිය ඇතුළත් වන බව වාර්තා වෙනවා.
|
|




