ලොව පුරා පැතිර SARS-CoV-2 කොවිඩ් වයිරසයේ ජාන ප්‍රභේදයේම අනු ප්‍රභේදයක් පසුගිය 2024 වසරේදී මෙරටින් වාර්තා වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ පසුගිය වසරේ මැයි මාසයේදී මෙන්ම මෙම වසරේ මැයි මාසයේදීත් කොවිඩ් රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.
පසුගිය මැයි මාසයේදී වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පරීක්ෂා කළ නියැදිය ද එම අනු ප්‍රභේදවලටම අයත් බව හඳුනාගෙන ඇති බවත් එම නිසා මේවා අලුත් ජාන ප්‍රභේද නොවන බවත් එහි සඳහන්.
එමඟින් වඩා උග්‍ර රෝගී තත්ත්වයන් හෝ සංකූලතා ඇති වීමක් හෝ වාර්තා වී නොමැති බවයි සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.
පසුගිය ගිය වසර කිහිපය හා සැසඳීමේදී පවතින කාලගුණ තත්ත්ව යටතේදී ඉන්ෆ්ලුවෙන්සාව වැනි රෝගවල වැඩිවීමක් මෙම කාලයේදී සාමාන්‍යයෙන් දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
ශ්‍රී ලංකාවේ ශ්වසන රෝග ආවේක්ෂණ පද්ධතියට අනුව 2024 වර්ෂය තුළදී ශ්‍රීලංකාව තුළ SARS-CoV-2 වෛරසය වාර්තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය, ශ්වසන රෝග සහිත රෝගීන්ගේ නියැදියවලින් සියයට 3ක් පමණ වනවා.
එහෙත් එම වසරේ මැයි මාසයේදී එය සියයට 9යි 6ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
මෙම වසරේ මෙතෙක් දුරට එම වෛරසය වාර්තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය සියයට 2ක් පමණ වන අතර, සුළු වැඩිවීමක් මේ වන විට පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ, විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා පැවසුවේ.
කෙසේවෙතත් රෝගය පැතිර යාම පිළිබඳව සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් මහජනතාව මේ පිළිබඳ අනියත බියක් ඇතිකර ගතයුතු නොමැති බවයි ඔහු පැවසුවේ.
උණ, සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පවතී නම් අනවශ්‍ය ලෙස බිය වී රෝහල් ගතවීමේ අවශ්‍යතාවයක් මෙම අවස්ථාවේ පැන නොනගින බව විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා පැවසුවා.
නමුත් යම් පුද්ගලයකුට ශ්වසන රෝගයක් සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතුවේ නම් රෝහලක් වෙත යොමුවීම අවශ්‍ය වන බවයි වෛද්‍යවරයා අවධානය කළේ.
රෝගයෙන් ආරක්ෂා වීමට ගත යුතු පියවර මොනවාද?
මෙලෙස පැතිර යන්නේ මීට පෙර රට අගුළු දැමීමට තරම් හේතු වූ කොවිඩ් ප්රභේදයමද?
වෛරස් ව්‍යාප්තියට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් ද?
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ, විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා පැවසුවේ රෝගය හේතුවෙන් සංකූලතා ඇතිවිය හැකි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැළකීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.
මෙම කණ්ඩායම් වන්නේ වයස්ගත පිරිස්, ගර්භනී කාන්තාවන්, ළදරුවන්, හෘද රෝග, දිගුකාලීන ස්වසන රෝග, දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් සහ යම් රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිශක්තිය පහළ දමන ආකාරයේ ඖෂධ ලබාගන්නා පුද්ගලයන්.