කොළඹ ජාතික රෝහල් සායනයක් සඳහා රැගෙන ගිය රැඳවියෙකු නිලධාරින්ගෙන් මිදී පලා යාමට තැත් කළ උත්සාහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.

අදාළ සැකකරු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට කොළඹ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය සායනය වෙත බන්ධනාගාර නිලධාරින් විසින් රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

වෛද්‍ය සායනය සඳහා ඉදිරිපත් කිරීමට පෙර රැඳවියාට දමා තිබූ මාංචු ඉවත් කිරීමට ගිය අවස්ථාවේදී ඔහු නිළධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පලාගොස් තිබෙනවා.

වහා ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරින් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන දොරටුව අසලදී එම රැඳවියා අත්අඩංගුවට ගත් බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම අවස්ථාවේදී අදාළ රැඳවියා විසින් අසල තිබූ විදුරු බෝතලයක් කඩා නිලධාරියෙකු වෙත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කෙසේවෙතත් එය වළක්වා රැඳවියා යළි නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.