පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් සහ නිවසක් මතට විශාල ගලක් සමග පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එහිදී සිරවී සිටි පුද්ගලයන් සිව් දෙනෙකු මුදාගෙන මාවනැල්ල රෝහලට ඇතුළත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එම අනතුර සිදුවූ විගස වහා ක්‍රියාත්මක වූ පොලීසිය, යුද හමුදාව, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, ප්‍රදේශවාසීන් ඇතුලු විවිධ පාර්ශව මුදා ගැනීමේ කටයුතු ආරම්භ කළා.
ප්‍රදේශයට ඇද හැලුණු වැසි හේතුවෙන් මුදා ගැනීම් කටයුතුවලට බාධා එල්ල වුවද එය නොතකා එම පාර්ශව අදාළ මුදා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එම ප්‍රදේශය ආශ්‍රිතව කිලෝමීටර් දෙකක පමණ ප්‍රමාණයක අවදානම් තත්ත්වයක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ පැවසුවා.
ඒ අනුව කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල සිට කඩුගන්නාව දක්වා කොටස නැවත දැනුම්දෙන තුරු වසා දැමීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව විකල්ප මාර්ග හඳුන්වාදීමට පොලීසිය කටයුතු කළා.
කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා රථ වාහන කොළඹ සිට කුරුණෑගල හරහා මහනුවර දක්වා ගමන් කළ යුතු වනවා.
මහනුවර දෙස සිට කොළඹ දක්වා ගමන් ගන්නා රථ වාහනද එම මාර්ග භාවිත කළ යුතු බවයි පොලීසිය පැවසුවේ.
ගම්පොල සිට කොළඹ දක්වා ධාවනය වන රථ වාහන හා කොළඹ සිට ගම්පොල දක්වා ධාවනය වන රථ වාහන මාවනැල්ල, හෙම්මාතගම හරහා මාර්ගය භාවිත කළ යුතු වනවා.
මාවනැල්ල සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන සඳහා ගනේතැන්න හන්දියෙන්, කෝවිල් කන්ද හරහා පිළිමතලාවට පැමිණ මහනුවරට පිවිසිය හැකි බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.




