කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අද තෝරා පත් කර ගැනුණා.

ඒ, සියලු පක්ෂවල ඒකමතික තීරණයට අනුව රහස් ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් අනතුරුවයි.

ඒ අනුව ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය වැඩි ඡන්ද 61ක් ලබා ගනිමින් කොළඹ මහා නගර සභාවේ නගරාධිපති ලෙස පත් වුණා.

සමගි ජන බලවේගයේ රීසා සාරුක් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 54ක්.

කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ මංගල රැස්වීම අද පෙරවරු 09යි 30ට ආරම්භ වුණා.

ඒ, බස්නාහිර පළාත් නාගරික කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට කිසිදු දේශපාලන පක්ෂයකට සියයට 50ක බහුතර බලය හිමි නොවූ අතර ඒ අනුව අද දිනයේදී නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සිදු කෙරුණා.

කොළඹ පුරපති තනතුර සඳහා ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර් මහත්මියගේ නම සහ සමගි ජන බලවේගයෙන් රීසා සාරුක් මහතාගේ නම යෝජනා වුණේ ඒ අනුවයි.

නගරාධිපති තෝරා පත්කර ගැනීම සිදුවන්නේ රහස් ඡන්ද විමසීමක් අනුවද? නැතිනම් විවෘත ඡන්ද විමසීමක් අනුවද? යන්න සම්බන්ධයෙන් සභාව තුළ හටගත්තේ උණුසුම් තත්ත්වයක්.

එම අවස්ථාවේදී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය විසින් විවෘත ඡන්දයක් ඉල්ලා සිටියා.

මෙම අවස්ථාවේදී බස්නාහිර පළාත් නාගරික කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ, මෙම සියලු කටයුතු ඡන්ද පනත අනුව සිදුකළ යුතු බවයි.

ඒ වන විට නම් දෙකක් යෝජනා වී ඇති බැවින් ඡන්ද විමසීම රහස් ක්‍රමයට පවත්වන්නේ ද? විවෘතව පවත්වන්නේ ද? යන්න පිළිබඳවද ඡන්ද පත්‍රිකාවක් මඟින් සඳහන් කළ යුතු බවයි ඇය පැවසුවේ.

ජාතික ජන බලවේගය විසින් රහස් ඡන්ද විමසීමකින් කොළඹ පුරපතිවරයා තෝරාපත්කර ගැනීමට යෝජනා කළ අතර පසුව සමගි ජන බලවේගය විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබුවා.

 

මෙවර පැවති කොළඹ මහනගර සභාවේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය සභික ධුර 48ක් සහ සමගි ජන බලවේගය සභික ධුර 29ක් ලබා ගත් අතර එක්සත් ජාතික පක්ෂය සභික ධුර 13ක් හිමි කර ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූයේ සභික ධුර 05ක් පමණයි.

එමෙන්ම, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 04ක්, ස්වාධීන කණ්ඩායම් අංක 03ට සභික ධුර 03ක් හිමි කර ගැනිමට හැකි වුණා.

සර්වජන බලයට සභික ධුර 02ක් හිමි වුණා.

එක්සත් සාම සන්ධානයට සභික ධුර 02ක්, ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ 05ට සභික ධුර දෙක බැගින් 04ක් හිමිවුණා.

එක්සත් ජනරජ පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යන පක්ෂවලට එක් සභික ධුරය බැගින් හිමි වුණා.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවෙන් ස්වාධීන කණ්ඩායම් අංක 01 සහ ස්වාධීන කණ්ඩායම් අංක 02ටද හිමි වුණේ එක් සභික ධුරයක් පමණයි.

සභික ධුර 117කින් සමන්විත කොළඹ මහා නගර සභාවේ බලය තනි පක්ෂයකට හෝ කණ්ඩායමකට පිහිටුවීමට නම් කිසියම් පක්ෂයකට සභික ධුර 59ක් ලබා ගත යුතු වුණා.

ඒ අනුව අද දිනයේදී පැවැත්වූ ඡන්ද විමසීමට අනුව කොළඹ පුරපති ලෙස ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පත් වුණා.