රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ නිලධාරීන් එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන්ට රථවාහන නීතිය පිළිබඳව මෙන්ම මාර්ගයකදී ආරක්ෂාකාරීව ගමන්ගන්නා ආකාරය පිළිබඳව අවශ්‍ය දැනුම ලබාදෙනු ලැබුවා.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ ප්‍රවීන දේශකවරුන් වන අධ්‍යාපනික අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රවීන් සුමනරත්න මහතා සහ රිය පාසලේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දයාල් කාරියවසම් මහතා විසින් ආනන්ද විද්‍යාලීය ප්‍රධාන දේශන ශාලාවේදී පැවැත්වූ දේශනයකින් සහ එළිමහනේ පැවැත්වූ සංදර්ශන සහිත ප්‍රායෝගික ක්‍රියාකරකම් වලින් සමන්විත වූ එම වැඩසටහන උදෑසන සිට දහවල් දක්වා පුරා පැය 05 ක පමණ කාලයක් සාර්ථකව පවත්වනු ලැබූ අතර විද්‍යාලයේ ළමුන් සහ ගුරුභවතුන් 3000 ක පමණ ප්‍රමාණයක් ඊට සහභාගී කරවීමට විදුහල්පති ලාල් දිසානායක මහතා අවශ්‍ය කටයුතු සලසා තිබුණා.

ඔබ අප සෑම උදෑසනකම ආනන්ද විද්‍යාලය ඉදිරිපිට රිය හසුරවන රිය නියාමක සිසුන් හට වැදගත් වන, යතුරුපැදි මගින් පැමිණෙන සිසුන් හට ආරක්ෂිත හිස්වැසුම් පැළදීමේදී වැදගත් වන, මාර්ගය හරහා යමේදී සහ පදික මංතීරුව භාවිතාකිරීමේදී වැදගත්වන කරුණු රැසක් මෙමගින් දීර්ඝ ලෙස පැහැදිලි කිරීමට කටයුතු කර තිබුණා.

මෙම වැඩසටහන සඳහාද ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් පුද්ගලික ආයතනය සාදර අනුග්‍රහය ලබාදී ඇති අතර, ඒ් යටතේ මෙවරත් දේශනයේදී රථවාහන පොලිස් නිලධාරීන් යොමුකළ ප්‍රශ්න සදහා නිවැරදි පිළිතුරු ලබාදුන් ආනන්ද විද්‍යාලීය පාසල් සිසුන් වෙත රථවාහන මූලස්ථානයේ නිලධාරීන් වටිනා ත්‍යාග ප්‍රධානය කර තිබෙනවා.