කොළඹ නගරයේ වායු ගෝලයේ තත්ත්වය පරික්ෂා කරන වැඩපිළිවෙල පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය මගින් කොළඹ කොටුව ආශ්‍රිතව වායු ගෝලීය දූෂක කාරකයන් මැනීමේ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි පරිසර අමාත්‍යංශය පැවසුවේ.

මෙම මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු වැඩි ඵලදායීතාවයකින් සහ කාර්යක්ෂමව සිදුකර ගැනීමට අවශ්‍ය වායු ගෝලීය දූෂක කාරකයන් මැනිය හැකි නව උපකරණය සවි කිරීම අද පස්වරුවේ සිදු වනවා.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.