කොළඹ සිට ඉන්දියාවේ නවා ෂෙවා වරාය දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබෙනවා.

සිංගප්පූරු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එලෙස ගිනිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අදාළ නෞකාව කොළඹින් පිටත්ව ඇත්තේ පසුගිය 06 වන දිනයි.

ඒ අනුව එම යාත්‍රාව ඊයේ දින ඉන්දියාවේ මුම්බායිහි ‘නවා ෂෙවා’ වරායට ළඟා වනු ඇති බවට අපේක්ෂා කළ බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක් වන අවස්ථාවේදී අදාළ යාත්‍රාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකු පමණ සිට තිබෙනවා.

එම පිපිරීමෙන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයන් සිව් දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන්වූවන් අතරට තායිවාන ජාතිකයින් දෙදෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයෙක් හා මියන්මාර ජාතිකයෙක් ඇතුළත්.

නෞකාව ගිනි ගැනීමට ලක් වීමත් සමඟ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 18 දෙනෙකු ජීවිතාරක්ෂක බෝට්ටු ආධාරයෙන් ජිවිත බේරා ගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා මේ වන විට හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා සූරත් නගරයේ මංගලෝර් වරාය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ප්‍රදේශයේ නැව් සඳහා ආරක්ෂිත දුරක් පවත්වා ගන්නා ලෙසට එරට රජය උපදෙස් දී තිබෙනවා.

එසේම අතුරුදහන් වුවන් සොයා තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

ගින්න පාලනය කිරීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ගිනි නිවීමේ මෙහෙයුම් සිදු කරනු ලබනවා.

ඒ අනුව සති දෙකකට ආසන්න කාලයක් තුළ කේරළ වෙරළට ඔබ්බෙන් අරාබි මුහුදේ සිදු වූ දෙවන නෞකා පිපිරීම මෙය වන බවයි වාර්තා වන්නේ.