කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද පෙරවරුවේ එම ධුරයේ රාජකාරී ආරම්භ කළා.

ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභා ඉතිහාසයේ දෙවන පුරපතිනියයි.

හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට පසු කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය වන්නේද ඇයයි.

අද උදෑසන සිය ධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පැවසුවේ ජනතාව සහභාගී කර ගනිමින්ම කොළඹ නගරයේ ඇති ගැටලු විසඳීමට තමා බලාපොරොත්තු වන බවයි.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තමා පත්වීම පිළිබඳ කිසිවිටෙකත් පෞද්ගලිකව නොගන්නා ලෙසත් ජයග්‍රහණය සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බවත් කොළඹ පුරපනිති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය මෙහිදී පැවසුවා.

මේ අතර කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස තේරී පත්වූයේ හේමන්ත කුමාර මහතායි.

ඔහු අද උදෑසන නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහනට සහභාගී වුණා. එහිදී කොළඹ ජනතාවගේ නිවාස ගැටලුව පිළිබඳව අදහස් පළ කළේ මෙලෙසයි.

එමෙන්ම කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීනි උලුවඩුගේ සඳමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක පරීක්‍ෂණ පිළිබඳවද නියෝජ්‍ය නගරාධිපතිවරයා අදහස් පළ කළා.

මේ අතර කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා.

කෙසේවෙතත් කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ මෙම අවස්ථාවද අද උණුසුම් මුහුණුවරක් ගත්තා.

කොළොන්නාව නගර සභාවේ ආසන 9ක් ජාතික ජන බලවේගයට හිමිව තිබූ අතර, විපක්ෂයට හිමිව තිබූ ආසන සංඛ්‍යාව 10ක්.

අද ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 09 දෙනෙකු සභාවෙන් පිටව ගොස් තිබෙනවා.

කෙසේවෙතත් සමගි ජන බලවේගයේ වැඩිම මනාප හිමිකරගත් සුසිල් කුමාර මහතා සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය පළ කිරීම විශේෂත්වයක්.

ඒ අනුව පැවති රහස් ඡන්දයෙන් ඡන්ද 10ක් හිමිකර ගනිමින් ජාතික ජන බලවේගයේ ධම්මික විජයමුණි මහතා කොළොන්නාව නගර සභාවේ, සභාපතිවරයා ලෙස තේරී පත්වුණා.