යාල ජාතික වනෝද්‍යානයේ පුංචි කන්ද ප්‍රදේශයේ වගා කර තිබූ මහා පරිමාණයේ ගංජා හේනක් මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් වටලා තිබෙනවා.

ඒ, රාජ්‍ය  බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් තොරතුරක් අනුවයි. එම ගංජා හේනේ තිබී විවිධ උස ප්‍රමාණයේ ගංජා ගස් එක්ලක්ෂ පන්දහසක් සොයා ගත් බවයි කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පැවසුවේ.

එලෙස සොයා ගත් ගංජා ගස් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික බවටයි අනාවරණ වී ඇත්තේ. වැටලීම සිදු කරන අවස්ථාවේ එහි සිටි සැකකරුවන් පලා ගොස් තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.