ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව අමතා ඊයේ කළ විශේෂ ප්‍රකාශයේදී රටේ වැදගත් අංශ කිහිපයක් පිළිබඳ අදහස් පළ වුණා. මෙරටට ලැබුණු විදේශ ආයෝජන ඒ අතරින් ප්‍රධාන කරුණක්. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ මෙම වසර තුළ අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික ආයෝජනයන් මෙම වසර තුළ ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා පමණක් සෘජු විදෙස් ආයෝජන ලෙස ඒවා රටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

බදු ගෙවීම් පැහැර හැර ඇති සහ ණය ගෙවීම් පැහැර හැර ඇති පිරිස සම්බන්ධයෙන් ද එහිදී අදහස් පළ කෙරුණා. ආර්ථිකයට සෘජුව සම්බන්ධ රාජ්‍ය ආයතන මෙතෙක් ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා අදහස් පළ කළා. මේ අතර ජන ජීවිතයට අතිශය සමීප කරුණු කිහිපයක් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවය ශක්තිමත් කරමින් මෙරට පුද්ගලයින් 10,000කට එක් වෛද්‍යවරයෙකු වෙන් කිරීමට අපේක්ෂා කරන බවයි.