වත්තල, බංගලාවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. එහිදී සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 309 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා. එම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි 05කට අධික බවයි පොලීසිය පැවසුවේ. එම කේරළ ගංජා තොගය සැකකරුවන් විසින් කුලී පදනම මත ලබාගත් නිවසක කාමරයක් තුළ සඟවා තිබියදී සොයා ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. ඔවුන් අද වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.