පහළ කඩුගන්නාව ප්රදේශයේ ඊයේ ඇතිවූ නායයාම හේතුවෙන් ආපදාවට පත්වූ ප්රදේශය ඉංජිනේරුවන් විසින් මේ වන විට නිරීක්ෂණය කරමින් සිටිනවා.
පොලීසිය පැවසුවේ ඉන් අනතුරුව අදාළ ස්ථානයට කඩා වැටී ඇති ගල් ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි.
ආපදාවට ලක් වූ ස්ථානයේ නවතම තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා නෙත් නිවුස් වාර්තාකරු සමන් විජය බණ්ඩාර සමගින්.
මාවනැල්ල, ගනේතැන්න, පහළ කඩුගන්නාව ප්රදේශයේ නිවසක් හා වෙළෙඳසලක් මතට විශාල ගලක් සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
අනතුරින් තවත් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කළ අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
නායයාම සිදුවන අවස්ථාවේ උදෑසන ආහාර ගැනීම සඳහා පැමිණි පිරිසක් වෙළඳසැලේ රැඳී සිට ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
පස්කන්දට යටව සිටි පිරිස බේරා ගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගිනි නිවන භටයින් ඇතුළු විශාල පිරිසක් මෙහෙයුම් දියත් කරනු ලැබුවා. පස්කන්දට යටව සිටි පිරිස් පිටතට ගෙන සුවසැරිය ගිලන් රථ මගින් රෝහල් කරා යැවීමටයි පොලීසිය පියවර ගෙන තිබුණේ.
මේ අතර පොලිසිය පැවසුවේ නැවත දැනුම්දෙන තුරු කොළඹ - මහනුවර ප්රධාන මාර්ගය, පහළ කඩුගන්නාව ප්රදේශයෙන් වසා දැමීමට පියවර ගත් බවයි.
අදාළ මාර්ගය භාවිත කරන රියදුරන් මේ සඳහා විකල්ම මාර්ග භාවිත කරන පොලීසිය දැනුම් දුන්නා.
ඒ අනුව කොළඹ සිට කුරුණෑගල හරහා මහනුවර දක්වාත්, කොළඹ සිට කරඬුපන හරහා මහනුවර දක්වාත්, කොළඹ සිට මාවනැල්ල, හෙම්මාතගම, රම්පල හරහා මහනුවර දක්වා සහ කොළඹ සිට මාවනැල්ල, ගනේවත්ත හන්දියෙන් කොවිල් කන්ද හරහා පිළිමතලාව, මහනුවර දක්වාත් වූ විකල්ප මාර්ග භාවිත කළ හැකියි.
එමෙන්ම හෙට දින පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා මහනුවර ප්රදේශයට සහ කඩුගන්නාව ප්රදේශය වෙත යන දරුවන් සඳහා ප්රවාහන පහසුකම්, මාවනැල්ල සහ කඩුගන්නාව ඩිපෝ මගින් ආරක්ෂිතව සලසා දීමට කටයුතු යොදා ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.




