ජීප් රථ ගණුදෙනුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන මහත්මිය ඉදිරි විමර්ශන සඳහා මතුගම පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිත බව වාර්තා වනවා. ව්‍යාජ දත්ත ඇතුළත් කළ ලියාපදිංචි කළ ජීප් රථ ගණුදෙනුවක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිඥයෙකු මාර්ගයෙන් අද උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට භාරවූ අවස්ථාවේදීයි. අදාල සිද්ධිය සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරි විමර්ශන සඳහා ඇය මතුගම පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග අනාවරණ කළේ. මෙම සිද්ධියට අදාල ජීප් රථය වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සිය භාරයට ගනු ලැබුවේ ඉකුත් ජූලි 19 වනදායි. මතුගම නගරයේදී එම ජීප් රථය සමග එය පැදවූ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතගේ පුත් රසික විතාන මහතා ද අත්අඩංගුවට ගැණුනා. මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මහතා ද අධිකරණයට භාරවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ අනුව රසික විතාන මහතා ඇප මත මුදාහැරීමටයි එම අවස්ථාවේදී අධිකරණය නියෝග කළේ. ප්‍රශ්නගත ජීප් රථයේ අටවන ලියාපදිංචි හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන වන බවත් එම ජීප් රථයේ නවවන හිමිකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ සමාගමක් ලියාපදිංචි කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.