ගත වූ පැය 24 යනු රියඅනතුරුවලින් පුද්ගලයින් 07 දෙනෙකුට මරු කැඳවූ කාලයක්. මිය ගිය පිරිස අතර වයස අවුරුදු 08ක කුඩා දැරියක් ද වනවා. සිදු වූ අනතුරු අතරින් වඩාත් අවධානයට ලක් වූ අනතුර වූයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරයි. මීරිගම පිවිසුම ආසන්නයේ සිදුවූ මෙම රිය අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුර සිදුවූයේ ලොරි රථයක් සහ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් එකිනෙක ගැටීමෙන්. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්න 41 වන කිලෝමීටර් කණුවේදී මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ රාත්‍රී 11.00ට පමණයි. අනතුරින් ලොරි රථයේ රියදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා. බරපතළ තුවාල ලබා සිටි බවුසරයේ සහායකයා ජීවිතක්ෂයට පත්ව තිබුණේ රෝහල්ගත කිරීම සඳහා රැගෙන යන අතරතුරයි. තුවාල ලබා සිටි බවුසරයේ රියදුරා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර හේතුවෙන් ලොරි රථය අධිවේගී මාර්ගයෙන් ඉවතට පෙරළී පසුව බවුසරය ද ලොරිය මතට පෙරළී තිබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අනෙක් රිය අනතුරු සිදුව තිබුණේ පොල්ගහවෙල, රත්නපුර, කටුනායක, එරාවුර් සහ හලාවත යන ප්‍රදේශවලයි. වයස අවුරුදු 08ක කුඩා දැරියට මරු කැඳවූ රිය අනතුර සිදු වූයේ පොල්ගහවෙල - කෑගල්ල මාර්ගයේයි. පොල්ගහවෙල - කෑගල්ල මාර්ගයේ පොල්ගහවෙල දෙසට ධාවනය වූ යතුරුපැදියක පසුපස එම දිශාවටම ගමන් කල පුද්ගලික බස් රථයක් ගැටී මෙම අනතුර සිදු වුණා. අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ යතුරුපැදියේ පසුපැදිකාරියව සිටි දැරියයි. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර රත්නපුර - පානදුර මාර්ගයේ රත්නපුර දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් 82 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. කටුනායක පොලිස් වසමේ ආඩිඅම්බලම - කිඹුලාපිටිය මාර්ගයේ කිඹුලාපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී තවත් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පදිකයා සහ යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදිකයා මියගොස් තිබුණා. මේ අතර තවත් අනතුරක් සිදුව තිබුණේ එරාවුර් පොලිස් වසමේ කලුවන්කේණි දුම්රිය හරස් මාර්ගයේදී මඩකලපුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියක යතුරුපැදියක් ගැටීමෙන්. අනතුරින් වයස අවුරුදු 26ක් වූ යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා. පුත්තලම - හලාවත මාර්ගයේ කොට්ටපිටිය හන්දිය ආසන්නයේදී ද රිය අනතුරක් සිදුව තිබුණේ හලාවත දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන්. අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා සහ යතුරුපැදිකරු හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදිකයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
Published