ඉකුත්දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කළ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් බාරයට පත් කර සිටින එහි වෙඩික්කරු ඇතුළු සැකකරුවන් ලබන නොවැම්බර් මස 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සිද්ධියේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් පිරිසක් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම නඩුවේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දී නමැත්තියට පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකුද අද විවෘත අධිකරණයට ඉදිරිපත් කළා.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියා විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින ඉශාරා සෙව්වන්දි නමැත්තියගෙන් ප්‍රශ්න කර හෙළිදරව් කරගන්නා තොරතුරු මත ඉදිරි විමර්ශන සිදු කරන බව පැවසුවා.

ඉශාරා සෙව්වන්දි නමැත්තිය ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි කරගත් තොරතුරු මත මෙම නඩුවේ හත්වන සැකකරුගේ ගෙවත්තේ සඟවා තිබූ ජංගම දුරකථන දෙකක් සොයා බවත් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව කියා සිටි එම නිලධාරියා තවත් සැකකරුවන් හතර දෙනකු ඇයට රටින් පලා යාමට ආධාර අනුබල දී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් පැවසුවා.

මෙම නඩුකරයේ 23 වන සැකකාරිය වන රෝහල් සේවිකාවක් වූ ඩී. ප්‍රියංගා නමැත්තිය ඉෂාරා සෙව්වන්දි නැමත්තිය සිය යතුරු පැදියෙන් තම නිවසට රැගෙන ගොස් තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එසේ නිවසට ගිය අවස්ථාවේ මෙම නඩුවේ 24 වන සැකකරු ලෙස නම් කර සිටින පොලිස් කොස්තාපල් ප්‍රශාන් සමෝද නමැත්තා එම නිවසේ සිට ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ එම නිලධාරියා ඔහු රජයේ නිලධාරියෙකු වශයෙන් ඉෂාරා සෙව්වන්දී පිළිබඳව තොරතුරු විමර්ශන නිලධාරීන්ට ලබා නොදී වසන් කිරීමට කටයුතු කර තිබෙන බව චෝදනා කළා.

මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඉශාරා සෙව්වන්දි පිළිබඳ තොරතුරු විමර්ශන නිලධාරීන්ට ලබා නොදී වසන් කිරීම තුළින් ඇයට පලායාම සඳහා හිතා මතාම ආධාර අනුබල දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් ඔහු කියා සිටියා.

දොන් ප්‍රියංගා නමැති සැකකාරියගේ නිවසේ ඉශාරා සෙව්වන්දි එක් දිනක් රැඳී සිට ඇති අතර 25 වන සැකකරු වන ව්‍යාපාරික සජිත් දිනූෂ යන අයගේ වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි නිවසේ සැකකාර ඉශාරා සෙව්වන්දි දින 52 ක් රැදී සිට ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරියා කියා සිටියා.

ඊට අමතරව මෙම නඩුවේ 26 වන සැකකාරිය වශයෙන් නම්කර සිටින රේණුකා ශාන්ති සහ ඇයගේ සැමියා වන විසිහත් වන සැකකරු වූ උපාලි ආනන්ද යන අය ඉෂාරා සෙව්වන්දි නැමත්තිය මාතර ප්‍රදේශයට රැගෙන ගොස් පසුව මිත්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේ නවතා තිබෙන බවත් මෙම කටයුතුවලට "මතුගම ශාන්" නමැත්තා මුදල් ලබාදී තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් නිලධාරියා සඳහන් කළා.

ඉන් අනතුරුව මෙම නඩුවේ 26 වන සැකකාරිය සහ 27 වන සැකකරු ඉෂාරා සෙව්වන්දී නමැත්තියව මෝටර් රථයකින් මාන්කුලම් ප්‍රදේශයට රැගෙන ගිය අතර අනතුරුව කිලිනොච්චියට ගොස් යාපනය හරහා පලායාමට කටයුතු සම්පාදනය කර දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරියා ප්‍රකාශ කළා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බැවින් මෙම සැකකරුවන් සියලු දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබෙන සැකකරුවන් සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළා.

ඉන් අනතුරුව සැකකරුවන් නොවැම්බර් මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කළා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දමිත් අංජන නයනජිත් නමැත්තා මහාධිකරණය නියෝග මත ඇප මත මුදා හැර තිබෙන හෙයින් ඔහු රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළා.