සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් මිනුවන්ගොඩ හල්ඔලුව කෝට්ටාසයේ දී පසුගිය දා සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වි තිබෙනවා.

එහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කල අදහස් දැක්වීම පහතින් දැක්වේ.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේ රන්පදක්කම් ලාභීන් දෙදෙනෙකු හට රුපියල් ලක්ෂය බැගින් මුදල් තෑගි ලබාදීමද සිදු කරන ලදී.

මේ වන විට ජන ජවිත විනාශ වී රජයේ දුර්වලතා අකාර්යක්ෂමතා නිසා මේ රජයට නීතියේ ආධිපත්‍ය රටේ ක්‍රියාත්මක කරන්න නොහැකි වි ඇති බවත් කුඩුකාරයන් මංකොල්ලකාරයන් ඝාතකයන් අද සමාජය උදුරාගෙන ඇති බවත් තරගයට වෙඩි තැබීම් සිදු කරන බවත් මේ ඝාතන සංස්කෘතිය වළක්වලන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් මේ රජයේ දුර්වලතාව නිසා වැඩි වැඩියෙන් දොරට විවෘතව ඇත්තේ ජාවාරම්කරුවන්ට බවත් සමාජය තුළ අසීමිත භීෂණයක් නිර්මාණය වී ජනතාවගේ ජන ජීවිත සම්පූර්ණයෙන්ම පැහැරගෙන ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී කතා කිරීමේ නිදහස පවා අහිමි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් රජයේ ප්‍රතිපත්තිය වි ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර ඒක පාක්ෂික ආණ්ඩුවක් හැදීම බවත් සමාජයේ සෑම ආයතනයකම බලය ලබා ගත්තත් අද සමාජය කුඩුකාරයන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් අද ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට පවා තර්ජන එල්ල වී ඇති බවත් එම නිසා රටේ ජනතාවගේත් මහජන නියෝජිතයන්ගේත් ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීම බවත් මේ පාතාලය තුරන් කිරිමට විපක්ෂය පවා සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය දුන් පොරොන්දු බලාපොරොත්තු අද සුන් වෙලා

අද වන විට වත්මන් රජය ජනතාවට ලබා දුන් පොරොන්දු බලාපොරොත්තු අද විනාශ වී කඩ වී ඇති බවත් සමස්තයක් ජනතාව මේ නිසා දැවැන්ත කලකිරීමකින් සිටින බවත් රජයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට උද්ධමනය වැඩි වෙමින් පවතින බවත් මැතිවරණ සමයේ වත්මන් රජය කිව්වේ නම් අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කර නව ගිවිසුමකට යනවා යැයි වුවත් අද වන විට වත්මන් රජය හිටපු ජනාධිපතිවරයා විසින් අත්සන් කළ අයි.එම්.එෆ් ගිවිසුමම අනුගමනය කරමින් යන බවත් 33%කින් විදුලි බල අඩු කරනවා කියූ වත්මන් රජය විදුලි බිල වැඩි කරන්න උපදෙස් දෙන බවත් විපක්ෂය නොමැති නම් මේ වන විට විදුලි බිල නැවත වරක් විශාල ප්‍රමාණයකින් වැඩි කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෝ දෙනවා කිව්ව සහන

විදුලි බිල මෙන්ම වරායේ බාන මිලටම තෙල් ලබා දෙන බවත් තෙල් මත පටවන බදු ඉවත් කර දූෂණය නැති කර තෙල් මිල අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් හැමතැනම කළේ බොරුව සහ රැවටිල්ල බවත් මේ වන විට රටේ 50%ක් පමණ දුප්පත් බවත් මේ ජනතාව දුප්පත්කමින් මුදවන්න කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් 2028 සිට විදේශ ණය ගෙවන්න ඇති බවත් එසේ විදේශ ණය ගෙවන්න නම් ආර්ථිකය ශක්තිමත් වී ස්ථාවර වී වේගවත් ආර්ථික වර්ධනයක් ඇති වී විදේශ සංචිත වර්ධනය විය යුතු වුවත් අද වන විට ඒ කිසිවක් නොමැති බවත් මේ වසර 3 ඉහළ ආර්ථික වර්ධන වේගයක් ලබා ගත හොත් 2028 ණය ගෙවීමට හැකි බවත් එසේ නොවුවහොත් නැවත වරක් බංකොලොත් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.