පොදු මාර්ගයක් ලෙස රජය ගැසට්ටුවක් මගින් ප්‍රකාශයට පත්කර ඇති ගල්ගමුව නගරයේ සිට ක්‍රීඩාංගන පාර දක්වා දිවෙන පොදු ප්‍රවේශ මාර්ගය ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ ද සහය ඇතිව නීති විරෝධීව වසා දමා එම ප්‍රවේශ මාර්ගය මහජනතාවට අහුරා තැබීමට පුද්ගලයෙකු ගෙන ඇති තීරණයක් අභියෝගයට ලක් කරමින් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ මහව දිසා විනිසුරු නුවන් ප්‍රියනිල් ගුණසේකර මහතා ප්‍රශ්න ගත ප්‍රවේශ මාර්ගය මහජනතාවට අවහිර කරමින් වසා දැමීම බල රහිත කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මෙම අතුරු තහනම් නියෝගය දින 14 ක කාලයක් බල පැවැත් වීමට ද නියෝග කළ දිසා විනිසුරුවරයා පෙත්සමේ වග උත්තරකරුට මේ මස 30 වන දින මහව දිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කරනු ලැබුවා.
මහව දිසා විනිසුරු නුවන් ප්‍රියනිල් ගුණසේකර මහතා මෙසේ නියෝග කලේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා දීර්ඝව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි.
ගල්ගමුව නගරයේ පදිංචිකරුවන් වන හලීම්දීන් මොහොමඩ් අස්ලම්, හලීම්දීන් මොහොමඩ් අසහර්, මොහොමඩ් මන්සූර් මොහොමඩ් මනාසීර්,ලේකම්ලාගේ ගෙදර මීරා මොහිදින්ගේ හුසාමුන්දීන්, පල්ලිය ගුරුගේ ධර්මසිරි යන මහත්වරුන් ජේෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා මගින් මහව දිසා අධිකරණයට ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වග උත්තර කරු ලෙස නම්කර ඇත්තේ ගල්ගමුව නගරයේ පදිංචි කරුවෙකු වන ජේ.එච්.එම්.කරුණාතිලක යන අය බව ද වාර්තා වනවා.
මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා පැවසුවේ ගල්ගුමුව නගරයේ සිට ක්‍රීඩාංගන පාර දක්වා දිවෙන මෙම ප්‍රශ්න ගත මාර්ගය දශක ගණනාවක අනාදිමත් කාලයක සිට ප්‍රදේශයේ ජනතාව විසින් පොදු ප්‍රවේශ මාර්ගයක් ලෙස භාවිතා කරමින් සිටින බවයි.
මෙම පොදු ප්‍රවේශ මාර්ගය ගම් සභා මාර්ගයක් ලෙස අතීතයේ සිට පැවත එන බවද අධිකරණයට අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා දශක ගණනාවකට පෙර පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගමන් කළ කරත්තකරුවෝ තමන්ට අවැසි ජලය ලබා ගැනීම සඳහා පොදු ලිඳ වෙත ගමන් කර ඇත්තේ ද මෙම ප්‍රශ්න ගත මාර්ගය ඔස්සේ බවද පවසා තිබෙනවා.
තත්ත්වය එසේ තිබියදී මෙම නඩුවේ වග උත්තරකරු ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සහයෝගය අනීතිකව ලබාගෙන අදාළ පොදු මාර්ගය අවහිර කරමින් එම මාර්ගයේ දෙපස පදිංචිකරුවන් දැඩි පීඩාවට ලක්කර ඇති බවද ප්‍රකාශ කළ නීතිඥවරයා මෙම අනීතික ක්‍රියාවට ගල්ගමුව ප්‍රාදේශීය සභාවද චේතනාන්විතවම මැදිහත්ව සහය දක්වමින් සිටින බවටද චෝදනා කර තිබෙනවා.
ප්‍රශ්න ගත මාර්ගය අධිකරණ නියෝග දෙකකින්ම පොදු මාර්ගයක් ලෙසට පිළිගෙන තහවුරු කර ඇති බවද කියා සිටි නීතිඥවරයා අදාළ මාර්ගය රජය විසින් පොදු මාර්ගයක් ලෙසට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති බවද නීතිඥවරයා සඳහන් කර සිටියා.
තත්ත්වය එසේ තිබියදී ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වංචනික ලෙස කටයුතු කරමින් අයිතිවාසිකමක් හෝ හිමිකමක් නොමැති පුද්ගලයකු විසින් ඉදිරිපත් කර ඇති ගොඩනැගිලි ඉල්ලුම ද අනුමත කර අදාළ මාර්ගය අවහිර වන පරිදි ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර දී ඇතිි බවද පවසා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා මෙම කරුණු සැලකිල්ලට ගෙන තම සේවා දායකයා අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් ප්‍රශ්න ගත ප්‍රවේශ මාර්ගය අවහිර කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද අයැද සිටියා.
මෙම නඩුවේ වග උත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටත් පෙත්සමට අදාලව කරුණු දක්වන ලෙසට වග උත්තරකරුට නියෝග කරන ලෙසටත් නීතිඥවරයා ඉල්ලා සිටියා.
නීතීඥවරයාගේ කරුණු දැක්වම් සැලකිල්ලට ගත් මහව දිසා විනිසුරු නුවන් ප්‍රියනිල් ගුණසේකර මහතා ප්‍රශ්න ගත අතුරු මාර්ගය මහජනතාවට භාවිතා කිරීම අවහිර කරමින් අහුරා තැබීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මෙම පෙත්සමේ වග උත්තරකරුට මෙම මස 30 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද තවදුරටත් නියෝග කළ දිසා විනිසුරුවරයා පෙත්සමට අදාලව වග උත්තර අධිකරණයට ගොණු කරන ලෙසට ද නියෝග කෙරුණා.
පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ එරන්දිකා මංචනායක. මෙනවියගේ උපදෙස් මත නීතිඥවරුන් වන සඳගිරි බණ්ඩාර,මේනකා ආරියපාල, චතුරිකා ලංකා,නවීන් ජයමාන්න සහ රවින්ද්‍ර ඉරුගල් බණ්ඩාර යන මහත්ම මහත්මීන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා පෙනී සිටියා.