ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. එහිදී ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළව වෙන් වෙන් වශයෙන්, මහාමාර්ග, අධිවේගී මාර්ග සහ ග්‍රාමීය මාර්ග ආදිය පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා. වරාය සහ එහි කටයුතු සඳහා අයවැය මඟින් වෙන් කර ඇති ප්‍රතිපාදන, එම ප්‍රතිපාදන භාවිත කර ඇති ආකාරය මෙන්ම අනාගත සැලසුම් පිළිබඳව ද එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විමසුමට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ග්‍රාමීය මාර්ගවල බස්රථ ධාවනය ලාභ නොලබන කටයුත්තක් වුවත්, එම බරපැන රජයෙන් දරමින් ජනතාවට උපරිම සේවයක් ලබා දීමට සැලසුම් සකස් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්ත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශවලට ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා යන අංශ මෙරට ආර්ථිකයට දායක කර ගැනීම මූලික කර ගත් ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.