ගාසා යුද්ධය අවසන් කිරීමේ සාම සැලැස්මේ පළමු අදියරට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අත්සන් තැබූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඒ අනුව සාම සැලැස්මේ පළමු අදියර යටතේ ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල් සිරකරුවන් 48 දෙනෙකු සහ ඊශ්‍රායල බන්ධානාගාරවල රඳවා සිටින පලස්තීන සිරකරුවන් 20 දෙනෙකු නිදහස් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඉන් අනතුරුව සියලුම ප්‍රාණ ඇපකරුවන් කඩිනමින් නිදහස් කිරීමක් සිදුවනු ඇති බවත් කල්පවතින සාමයක් කරා යන පළමු පියවර ලෙස ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීම ඉදිරියේදී සිදුවනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සඳහන් කර තිබෙනවා.
සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩල රැස්වීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කළහොත් ගාසා තීරයේ මෙහෙයුම්වල නිරත ඊශ්‍රායල හමුදා පැය 24ක් තුළ ඉවත් කර ගැනීමට හැකියාව පවතින බවද එම වාර්තාවල සඳහන්.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා පැවැත්වීම සඳහා සති අන්තයේදී මැද පෙරදිග සංචාරයක නිරත වීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
ගාසා යුද්ධය නතර කිරීම සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වක්‍ර සාකච්ඡා ඉකුත් දා ආරම්භ වුණේ ඊජිප්තුවේ ෂාර්ම් එල් ෂෙයික් නගරයේදීයි.
ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 20කින් සමන්විත සාම සැලැස්ම පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමේ අරමුණින් මෙම සාකච්ඡා ආරම්භ කෙරුණා.
ගාසා යුද්ධයට හේතු වූ 2023 වසරේ ඔක්තෝබර් මස 07 වනදා දකුණු ඊශ්‍රායලයට හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයට වසර දෙකයි දින දෙකක් ගතවීමෙන් අනතුරුවයි දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡා ආරම්භ වුණේ.
මීට දෙවසරකට පමණ පෙර හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,200ක් පමණ මිය ගොස් ඇති අතර තවත් ඊශ්‍රායල් ජාතිකයින් 251 දෙනෙකු හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබුණා.
ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ මෙහෙයුම් ආරම්භ කළ අතර එම මෙහෙයුම්වලදී ළමුන් 20,179 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 67,183 දෙනෙකු මිය ගොස් ඇති බව හමාස් සංවිධානය මගින් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා අනාවරණ කර තිබෙනවා.