දශක ගණනාවකට පසු නේපාලයේ හටගෙන ඇති විරෝධතා මේ වන විට දරුණුතම තත්ත්වයකට වර්ධනය වී තිබෙනවා. එය තීව්‍ර කරමින් ඊයේ රාත්‍රිය වන විට වාර්තා වුණේ කත්මණ්ඩු අගනුවර පිහිටි පාර්ලිමේන්තුවට ද විරෝධතාකරුවන් ගිනි තබා ඇති බවයි. රජයේ ගොඩනැගිලි සහ දේශපාලන නායකයින්ගේ නිවාසවලට ඔවුන් පහරදී තිබෙනවා. එරට දිස්ත්‍රික්ක කිහිපයකට ඇඳිරි නීතිය පනවා ඇතැයි සඳහන්. ගිනි තැබූ ගොඩනැගිලි අතරට නේපාල කොංග්‍රස් පක්ෂයේ මූලස්ථානය සහ එහි නායක ෂර් බහදූර් ඩියුබාගේ නිවස ද අයත්. කොමියුනිස්ට් පක්ෂයට නායකත්වය දෙන, සිව් වතාවක් එරට අගමැති වූ 73 හැවිරිදි කේ.පී ඔලිගේ නිවසට ද ගිනි තබා තිබෙනවා. නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඔලි ද ඊයේ පස්වරුවේ සිය ධූරයෙන් ඉල්ලා අස් වුණා. එහෙත් විරෝධතා තවමත් අවසන් වී නැහැ. පොලිසිය සමඟ ඇති වූ ගැටුම්වලින් විරෝධතාකරුවන් 22 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විරෝධතා මධ්‍යයේ, බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ නේපාලයේ බටහිර දිස්ත්‍රික්කවල බන්ධනාගාර දෙකකින් රැඳවියන් 900ක් පැන යාමට සමත් වූ බවයි. නේපාලයේ මෙලෙස විරෝධතා ආරම්භ වූයේ සමාජ මාධ්‍ය ජාල 26ක් තහනම් කිරීමත් සමඟයි. නේපාලයේ මිලියන සංඛ්‍යාත පරිශීලකයින් ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය භාවිත කරනවා. කෙසේවෙතත් ඒවා අවහිර කිරීමට රජය තීරණය කළේ ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ ඔන්ලයින් වංචා මැඩපැවැත්වීම සඳහා බව පවසමින්. එහෙත් තරුණයින් පැවසුවේ මෙම පියවර නිදහස් කතා කිරීමේ ප්‍රහාරයක් බවයි. ඉකුත් සඳුදා වන විට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ තීරණය ඉවත් කළද පැවති විරෝධතා වර්ධනය වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නේපාලයේ හමුදා ප්‍රධානියා ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ විරෝධතාකරුවන් වත්මන් අර්බුදයෙන් ප්‍රයෝජන ගනිමින් රාජ්‍ය හා පෞද්ගලික දේපළවලට හානි කිරීම, කොල්ලකෑම සහ ගිනි තැබීම සිදු කර ඇති බවටයි. නොසන්සුන්තාව තවදුරටත් පැවතුනහොත්, නේපාල හමුදාව ඇතුළු සියලුම ආරක්ෂක ආයතන, තත්වය පාලනය කිරීමට මැදිහත් වන බව ඔහු අවධාරණය කර තිබෙනවා. කේ.පී. ෂර්මා ඔලි නේපාල අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී ඇති නමුත්, ඔහු වෙනුවට පත් කරන්නේ කවුරුන්ද යන්න හෝ ඊළඟට කුමක් සිදුවේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ වී නැහැ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නේපාලයේ වගකීම භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වන අයුරක් නොපෙනෙන බවයි. අමාත්‍යවරුන් ඇතුළු ඇතැම් දේශපාලන නායකයින් ආරක්ෂක අංශ රැකවරණය මත සිටින බවද එම වාර්තාවල සඳහන්. දූෂණ විරෝධී ඉල්ලීම් යටතේ විරෝධතාකරුවන් පෙළ ගැසී සිටිය ද ඉන් පරිබාහිර වෙනත් ඉල්ලීම් කිසිවක් ඔවුන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. සංවිධානාත්මක නායකත්වයක් පවා නොමැතිව එම විරෝධතා සිදුවෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
Published