නේපාලයේ පැවති විරෝධතා සහ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් මේ වන විට පාලනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. දින දෙකක් පුරා පැවති දැවැන්ත විරෝධතාවලින් පසු කත්මන්ඩු නුවර කටයුතු මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. සමාජ මාධ්‍ය තහනම් කිරීමට නේපාල රජය ගත් තීරණයත් සමග නව පරම්පරාවේ තරුණයින් ආරම්භ කළ විරෝධතා උත්සන්න වීමෙන් පසු එය ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වුණා. ඒ හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 19ක්. මතු වූ තත්ත්වය හේතුවෙන් නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ශර්මා ඕලිට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට ද සිදු වුණා. පැවති ප්‍රචණ්ඩකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා නේපාල හමුදා කැඳවීමේන් පසු එම තත්ත්වයන් සමනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. පැවති ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් හේතුවෙන් වසා දැමුනු කත්මන්ඩු ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු මේ වන විට නැවත ආරම්භ කර තිබෙනවා. නව සිවිල් පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් විරෝධතාවල නිරත වූ තරුණ කණ්ඩායම් සමග නේපාල ජනාධිපතිවරයා සහ හමුදා ප්‍රධානියා සාකච්ඡාවක නිරත වීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.