රුපියල් තිස් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සීදූව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බන්ධිත ගුදමක් වන “කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස්” වෙත ලැබී තිබියදී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද පස්වරුවේ සොයාගනු ලැබුවා. ගුවන් තැපෑල ඔස්සේ කූරියර් පාර්සල් ලෙස එම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා තිබෙනවා. එම මත්ද්‍රව්‍ය තොගයට මත්පෙති 23,642ක්, කොකේන් කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 445ක්, මැන්ඩී ග්‍රෑම් 993ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 98ක් අයත්. ඒවා කූරියර් පාර්සල් 07ක් ලෙස සකස් කර ජර්මනිය, චෙක් ජනරජය, සැම්බියා, අමෙරිකාව, කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට කොළඹ, පානදුර, වත්තල, රාජගිරිය සහ මොරටුව යන ප්‍රදේශවල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා ඇති බවයි වාර්තා වුණේ. එම පාර්සල් භාර ගැනීමට කිසිවෙකුත් නොපැමිණීම නිසා, අදාල ලිපිනයන් පිළිබද රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සොයාබලා ඇති අතර ඒවා සියල්ල ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වී තිබෙනවා. එම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට රේගු නිලධාරින් පියවර ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.